Tuesday, November 6, 2012

පළමු ලිපිය

මාතෘකාව - "අයියේ......කුණුහරුප අහගන්න එපා......."

නිමිත්ත - කොළඹ-මහනුවර බස් රථ පෝළිමේදී සිදුවූ සිද්ධියක්.....

කොළඹ වනාහී ශ්‍රී ලංකාවේ අග නගරයයි."නොනිදන පුරවරය" ලෙස පොදුජනයා අතරත් "අසියාවේ ආශ්චර්යයේ කේන්ද්‍රස්ථානය" ලෙස පාලකයන් අතරත් කොළඹ පුරවරය හඳුන්වයි.

කෙසේ හෝ වේවා කොළඹ යනු රටේ ප්‍රධානතම පරිපාලන කේන්ද්‍රස්ථානයයි.මෙනිසා දස දෙසින් දෛනිකව කොළඹ පුරවරය බලා පියමං කරන්නවුන්ගේ සංඛ්‍යාව දස දහස් ගණනකි.මන්දයත් රා‍ජ්‍ය මෙන්ම පෞද්ගලික ආයතනවල කාර්යාල,කර්මාන්ත ශාලා බොහොමයක් පිහිටා ඇත්තේ කොළඹ නගරය කේන්ද්‍ර කර ගනිමිනි.මේ හේතුවෙන් දිනපතා නගරය ඇදී ‍එන බස් රථ සංඛ්‍යාව ඉලක්කම් හතරේ සංඛ්‍යාවකුත් දුම්රිය සංඛ්‍යාව ඉලක්කම් තුනේ සංඛ්‍යාවකුත් වන බව සමීක්ෂණ වාර්තා අනුව දැක ගත හැකිවේ.
ලංකාවේ බස් රථ ධාවනය සිදුවන්නේ ශ්‍රී ලංගම හා ‍පෞද්ගලික බස් රථ(නො එසේනම් ගැමුණුගේ සෙට් එක) යන දෙ අංශයේම මැදිහත් වීමෙනි.
ගින්දර හා පුළුන් ළං කළ නොහැකි සේම ලංගමය හා පෞද්ගලික බස් රථ කොළඹ නගරයේදී එකට ධාවනය ඇරඹීම අසීරුය.ඇවිළීම කෙසේ වෙතත් කළමණාකරණයේ අපහසුතාවයන් හේතුවෙන් එවන් බුද්ධිමත් තීරණයක් ගෙන ඇතැයි සිතීම සාධාරණ චේතනාවකි.
ඒ අනුව කොළඹ නගරයේ ප්‍රධාන බස් නැවතුම් පොළවල් දෙකකි.ශ්‍රී ලංගම බස් රථ සඳහා ගුණසිංහපුර බස් නැවතුම් පළත් පෞද්ගලික බස් රථ සඳහා නව පෞද්ගලික බස් නැවතුම් පොළත් ඉදිකර ඇත.සංඛ්‍යා ලේඛණ මා සතුව නැතත් අඩු වැඩි වශයෙන් දෙ අංශයේම බස් රථ සඳහා මගී ජනතාව අතර සැළකිය යුතු ඉල්ලුමක් ඇත.
 පෙර පැවසූ පරිදි දෛනිකව විශාල පිරිසක් ගමනාගමනයේ යෙදෙන්නා වූ මෙකී බස් රථ සඳහා ගමේ බස් නැවතුම් පළේදී මෙන් දිව ගොස් දොරේ එල්ලීමට නොහැකිය.ඒ සඳහා අදාළ ගමන් මාර්ගයේ(ඇතැම් ගමන් මාර්ග සඳහා පමණක්) බස් රථය පැමිණෙන තුරු නියමිත වේදිකාවේ පෝළිමක සිටිය යුතුය.
මෙය මා හට නව අත්දැකීමකි.හේතුව මා නිතර ගමනාගමනයේ යෙදෙන බස් මාර්ග මෙන්ම මා ගමන් ආරම්භ කරනා බස් නැවතුම් පොළවල් මෙතරම් කාර්ය බහුල නොවීම විය යුතුය.
කෙසේවෙතත් සිකුරාදා දින සවස 4ට පමණ ඔබ කොටුව පෞද්ගලික බස් රථ නැවතුම්පළ වෙත ගියහොත් තුන්‍වන වේදිකාවේ මහනුවර,මාතලේ,හා ගම්පොළ මාර්ගවල ධාවනය වන බස් රථ සඳහා විශාල මගීන් පිරිසක් පෙළ ගැසී සිටිනු දකින්නට ලැබීම සුලබ දසුනකි.

මෙකී දිනයද සිකුරාදාවකි.සුපුරුදු සෙනසුරාදා,ඉරිදා දෙදින සති අන්තයට අතිරේකව සඳුදා දිනයද රජයේ නිවාඩු දිනයක් වූ සති අන්තයකි.

සති අග රාජකාරී අවසානයේ මම මගේ මිතුරාද සමග ඔහුගේ බලවත් ඉල්ලීම හේතුවෙන් මහනුවර සුඛෝපභෝගී බස් රථ පෝළිමට එක්වූයේ හැකි විගස නුවර බලා යන බසයකට ‍නැග ගැනීමේ අපේක්ෂාවෙනි.මතකය නිවැරදි නම් අප දෙදෙනා පෝළිමට එක්වූයේ සවස 5ට පමණ විය යුතුය.අපි දෙදෙනා හෝරාවක් පමණ බලා සිටියෙමු.පෝළිම දික් වන නමුත් බස් රථ නොමැත.මම ඉවසා සිටිය යුතු හෙයින් මාගේ අසංවර මුඛය හැකි තාක් හොඳින් වසාගෙන විනාඩි 15කට වතාවක් නික්ම යන ‍සුඛෝපභෝගි නොවන මහනුවර බස් රථ දෙස බලමින් කළ ගොන් කම ගැන අනිත්‍ය මෙනෙහි කරන්නට වූයෙමි.

පැය එකහමාරකට අධික කාලයක් ගතවී ඇත.අප පැමිණි පසු තවමත් සුඛෝපභෝගී බස් රථ නික්ම ගියේ දෙකකි.(සාමාන්‍ය බස් රථ ගණන 6කි)

මේ අතර එක්තරා පුද්ගලයෙක් පැමිණ මා හට ස්ථාන දෙකක් ඉදි‍රියෙන් වූ පුද්ගලයා සමග කතාබස් කිරීම ආරම්භ කරන ලදි.
ඔහුගේ හැසීරීම දුටු මා හට හැඟීගියේ මොහු පෝළිම පැණ බසයට නැගීමට යත්න දරන බවට සැකයකි.
කෙසේ නමුත් යමක් සිදුවීමට පෙර ප්‍රතිචාර දැක්වීම භයානක බැවින් මම මිතුරා සමග කතා බස් කරන්නට වූයෙමි.
එවිටම පැය එකහමාරකට අධික කාලයක් ගතවීමෙන් පසු මහනුවර සුඛෝපභෝගී බස් රථයක් පැමිණියේය.අපි බසයට නැගීමට සූදානම් වූයෙමු.

මා මුලින් සිතූ පරිදි පෙර කී පුද්ගලයා සිය ගමන් මල්ල ඔහු සමග කතා බස් කළ පුද්ගලයාහට(මොහු මගී පෝළිමේ සිටි පුද්ගලයායි) ලබා දුනි.ඒ අනුව ඔහු උත්සහ දරණුයේ පෝලීමේ නොසිට විගස බසයට නැග ගැනීමටය.

එය අසාධාරණ ක්‍රියාවකි.පැය දෙකකට අධික කාලයක් පෝළිමේ සිටි අප වෙනුවට මැදින් පැමිණ විනාඩි 10ක්වත් නොසිට බසයට නැගීම සරල බසින් කිවහොත් මා තුළ නිදා සිටින යක්ෂයා අවදි කරවීමට සමත් වීමකි.කෙසේ වෙතත් මට ප්‍රථම මා ඉදිරියේ සිටි පුද්ගලයා ක්‍රියාත්මක විය.

"මේ හලෝ.....ඔයා මොකක් ඔය කරන්නේ?අපි මෙතන පැය ගාණක් හිටගෙන හිටියා.ඔයා මෙතන මැදින් පැනලා බස් එකට නගින්නද හදන්නේ?මොනවද අයිසේ මේ කැත වැඩ."

"නෑ නෑ මල්ලි..මෙයාගේ අම්මට සනීප නැතිවෙලා.ඒ දෙන්නම ඇවිත් තියෙන්නේ.ඒ දෙන්නටම තමා මේ සීට් දෙකක් ගන්න ඕනේ..පවුනේ මල්ලී"
මේ පෝලිමේ සිටි තැනැත්තාගේ හඬය.

"කෝ අම්මා...පේන්නවත් නෑනේ...නිකම් බබා පාර්ට් දාන්න එපා...මිස්ටර්....පෝළිමේ එනවනම් පෝළිමේ එනවා. මැදින් පනින්නේ නැතුව..."
මා ඉදිරියේ වූ පුද්ගලයා සිය අයිතිය වෙනුවෙන් හඬ අවදිකරන අතර විවාදය ඇදී ගියේය.

අවාසනාවකට මෙන් ඔහු හට උදව්වට කිසිවෙකුත් සිටියේ නැත...

මේ අතර වටපිට බැලූ මාහට පෙර කී මැදින් ඇතුළු වීමට උත්සහ කළ පුද්ගලයා දෙස ඔහුගේ මෑණියන් කෙසේවෙතත් දුවනියක් බලා සිටිනු දක්නට ලැබුණි.
කරුණු පැහැදිලිය.ඔවුන් දෙදෙනා ප්‍රේම කරමින් ඉක්මනින් යාමට අසුන් සොයනා තරුණ යුවළකි.
මේ අතර බසයට කෙමෙන් කෙමෙන් සෙනග එකතුවන නමුත් මැදින් සිදුවන අරගලය හේතුවෙන් පෝළිම ඉදිරියට නොඇදෙයි.
මම කටහඬ අව‍දි කළෙමි.

"මිස්ටර්...මෙතන නීතියක් තියෙනවා...අපි හැමෝම කලින් ගෙදර යන්න තමා ආවේ.තමුන් මේ මැදින් ඇවිල්ලා රිංගන්න එන්නේ නැතුව ගිහිල්ලා පෝළිමේ එන්න..."

"නෑ මල්ලි මෙයාගේ අම්ම...."

"අම්මා නෙමේ මොකා වුනත් කමක් නෑ(සත්‍ය සිද්ධිය දුටු නිසා) පෝළිමේ ඇවිත් නගින්න කියන්න ...එච්චරයි කතාව..."

එල්ලවන ප්‍රතිරෝධය හමුවේ තව දුරටත් රැඳී සිටීම අසීරුවූ හෙයින් ‍මැදින් එක්වීමට උත්සහ කළ තැනැත්තා සිය බෑගයද රැගෙන පෝළිමේ පසුපසට ඇදුනු අතර  පෝලීමේ සිටි පුද්ගලයා මා දෙසට හැරී මොනවදෝ දොඩවන්නට විය.

"කැත වැඩේනේ මල්ලි....එයාගේ අම්මා අසනීප වෙලා......."

"මේ අයියේ...කුණුහරුප අහගන්නේ නැතුව ඉස්සරහට යනවා...ඊළඟ බස් එකේවත් ගෙදර යන්න ඕනේ..."
මම විවාදය අවසන් කළෙමි.

ඔහු කිසිත් නොකියා පෝළිමේ ඉදිරියට ඇදුණු අතර අප ඊළඟ බස් රථය එනතුරු බලා සිටියෙමු.

මාත් මා ඉදිරි‍යේ සිටි පුද්ගලයාත් නිසා අසාධාරණ ලෙස බසයට නැගීමට ගිය පුද්ගලයා ඉවත් කර ගැනීමට අපට හැකිවිය.එසේ නොවුනි නම් බොහෝ වේලාවක් බසයක් එනතුරු බලා සිටි අයෙකුට තමාට හිමිවූ අසුනේ අසුන් ගැනීමේ අවස්ථාව අහිමි වීමට තිබුණි.කෙසේ නමුත් අවාසනාවකට  මෙන් ඒ අවස්ථාවේ 50කට අධික සංඛ්‍යාවක් සිටි පෝළිමේ හඬක් නැගුවේ අප දෙදෙනා පමණි.හ‍‍‍‍ඬේ ප්‍රභලතාවය නිසාවෙන් අප සාර්ථක විය.
මා හට ඇති ගැටළුව නම් අනෙකුත් 48 දෙනාගෙන් එක් අයෙකුටවත් එය අසාධාරණ බව නොසිතුනේද?නොඑසේනම් ගැටුම් වලට ලක්වීමට ඇති අකැමැත්තද?තමාගේ අයිතියක් වෙනුවෙන් පෙනී සිටීමට බියවිය යුතු නැත.නමුත් මෙය සුළු සිද්ධියක් ‍නිසා පෙනී සිටීම නොවැදගත්ද?මේවා මා හට ඇතිවුනු සිතුවිලිය.
මෙවන් සිද්ධියක් සාමාන්‍ය බස් රථ පෝලීමේ හෝ දුම්රිය ටිකට් කවුන්ටරයක් අසල සිදුවුණි නම් චූදිතයාගේ අඟපසඟ එකතුකිරීමට වුවත් සිදුවිය හැක.මන්ද එවන් ගමනාගමන මාධ්‍ය පාවිච්චි කරනුයේ සාමාන්‍ය ජනතාවයි.ඒ අනුව සුඛෝපභෝගි බස් රථවල යන්නේ සාමාන්‍ය ජනතාව නොවේද?
පුද්ගලයෙකුට උදව්වක් කළයුතුය.සොරකමක් නොකර අවංක චේතනාවෙන් අසල සිටින්නවුන්ගෙන් විමසා බලා යම් පහසුවක් ඉල්ලා සිටියහොත් එය සාධාරණනම් ඉල්ලීම ප්‍රතික්ෂේප ‍නොකළ යුතුය.
උදාහරණයක් ලෙස වයසක කාන්තාවක් පැමිණ රෝගී තත්වයක් නිසා පෝලීමේ පෙරමුණ ඉල්ලා සිටියි නම් එය තමා අසල සිටින්නවුන් සමග සාකාච්ඡා කර විසිඳුමක් ලබා දිය හැකි දෙයකි.නමුත් හොරෙන් පෝළිමකට ඇතුල්වීම මාගේ දර්ශනය අනුව වරදකි.මන්ද අප සියළු දෙනා නීති ගරුක විය යුතු බැවිනි.
දුම්රිය ස්ථානයේදී ඇතැම් දිනවල‍ පෝලිමේ නොසිට පැමිණෙන්වුන් සඳහා මමද ටිකට් පත් මිළදීගෙන ලබා දී ඇත.මන්ද ඔවුන් හට යාමට නියමිත දුම්රිය පිටත්වීමට ඇත්තේ විනාඩියකටත් අඩු කාල වේලාවන් වීම නිසාවෙනි.නමුත් බොරු ‍හේතු දක්වන්නවුන්ට ලිහිලක් දැක්විය යුතු නැත.එසේ කරන්නේ නම් එය අපේ ගොන් කම විනා ඔවුන්ගේ හැකියාව නොවේ.....